Saturday, July 18, 2009

සරසවි පෙම


සරසවිය තුල ප්‍රෙමය යනු වැඩිපුරම කතා බහට ලක්වන කාලීන මතෘකවකි.සරසවියට පැමින දෙවන සතිය වනවිට තම ප්‍රෙම පුරාණය ලිවීමට බොහෝ කොල්ලන් පටන් ගනී.එහෙත් මෙම පෙම් ජවනිකා අවුරුද්දකට වඩා පවතින්නේ නැත. කොල්ලන් එසේ උවද කෙල්ලන් නම් තම පෙම්වතා සොයා ගන්නේ වෙහෙස මහන්සියෙනි. ගමේ වරකා ගමේ කපුටන්ට කන්න නොදී පිටගම් යාමට ඔවුන් බොහෝ සේ උත්සුක වේ. බොහෝ ව්ට නීති පීඨයට හෝ විද්‍යා පීඨයට ගොස් තම පෙම්වතා සොයා ගැනීමට ඔවුන් උත්සුක වේ. එහෙත් එකම පීඨයේ කෙනෙකු පෙම්වතෙකු කරගන්න කෙල්ලන් පලමු අවුරුදේ සිටින කෙනා සමග දෙවන අවුරුදේ සිටින්නේ නැත, ඉතා කලාතුරකින් විවාහයෙන්ම අවසන් වන පෙම් සම්බන්ධතා නැතුවාම නොවේ.

සරසවිය යනු පෙම්වතුන්ගේ රජ දහනකි. ගල් බන්කු, පුස්තකාලය, හට් සහ කැන්ටිම පෙම් සුව විදින්නට යොදා ගැනේ. සීගිරිය ලෙස හැදින්වෙන භාවිතයට නොගන්නා අදුරු මුල්ලක සැගව ගත් තරප්පු පේලිය පෙම් සුව වින්දින්නන්ට වඩා කම් සැප වින්දින්නන්ට තෝතැන්නකි.සරසවියට පා තැබූ මුල් කාලයේ මේවා ගොඩයන්ට මැජික් සේ පෙනුනද පහු වන විට ඒවා එතරම් ගනන් ගත යුතු වන්නේ නැත.

එකම බැච් එකේ කොල්ලෙකු සහ කෙල්ලෙකු ගොඩ යාම(පෙම්වතුන් වීම ) ඉතා ඉහලින් සමරන්නකි. මෙය මල් බකට් ලෙස හැදින් වේ. කොල්ලාව සරසවියේ ඇති පොකුනකට උස්සා දමා නැහැවීම., අත් කරත්තයක මල් සහ ට්න් එල්ලා පෙම් යුවල හිදුවා සරසවිය වටේ රවුමක් ගෙන යාම මෙහිදී සිදු වේ. මෙය බොහෝ විට කරනු ලබන්නේ පිරිමි පාර්ශවයේ යහළුවන් විසිනි. එය ඉතා ඉහලින් සැමරුවද ටික දිනකින් පසු දෙපොල වෙන් වී සිටීමද දක්නට නැතුවා නොවේ. එවන් විටක ඒ ගැන ප්‍රශ්න නොකිරීමද සරසවි සිසුන්ගේ ගුනාන්ගයකි.

සරසවි බෞතිස්මය



සරසවිය තුල පලමු වසරේදී සිදුවන ක්‍රියාකාරකම් දෙකක් ඇත. එකක් නම් නේවාසික සිසුන් හා ජේශ්ටයන්ට හසුවන ඕනෑම කෙනෙකුට නමක් පැටවීමය. අනෙක් කරුන නම් පුලුවන් තරම් ඉක්මනින් ප්‍රෙමවන්තියක් හෝ ප්‍රෙමවන්තයෙක් සොයා ගැනීමය. පලමු වසර තුලදී දෙනු ලබන කාඩ් එක ඔහු මිය යන තුරම පාව්ච්චි කිරීම සරසවිය තුල නිතර සිදුවන්නකි.එසේ බෞතිස්ම ලැබූ කිහිප දෙනෙකුම මාද හදුනන්නේ ඔවුන්ගේ අන්වර්ත නාමයෙන් මිසක් නියම නමෙන් නොවේ. ඔවුන්ද සිටින්නේ තම නියම නම අමතක වූ කලක මෙනි.

එසේ නම් පැටවීම සරසවි බෞතිස්මය ලෙස හැදින්වේ. මෙසේ බෞතිස්ම කල පසු ඔවුන්ට තම නියම නම භාවිතය සපුරා තහනම් වේ. කවුරුන් ඇසුවද බෞතිස්ම කල නම විනා වෙනත් නමක් භාවිත කල නොහැක. සමහර කතිකාඡාර්ය්‍ය වරුන් පවා යොදා ගන්නේ එම නම්ය. අපටත් එවැනි නම් මතක තිබේ. ගැහැනු ගතියෙන් අවිදින සීනිබෝල කොල්ලෙකු වු නිශ්ශන්කට සුන්දරී ලෙස බෞතිස්මයක් ලැබීමත්, තවත් ගැහැනු ගමනකට හිමිකම් කී කොල්ලෙකුට න0ගා යන බෞතිස්මය ලැබීමත් එවන් උදාහරනයන් වේ.

තවත් උදාහරණ ලෙස අන්නාසියා, ඉබ්බා, ඉස්සා, ඩබල් වැනි නම්ද එ අතර වේ. එ මම දන්නා හදුනන කිහිප දෙනෙකු පමනි. රැකියාවත් සමග උසස් අධ්‍යාපනය ලැබූ මා හට සරසවිය තුල ගත කිරීමට තිබුනු කාලය ඉතාමත් අල්ප විය. එහෙත් අදටත් මා ඒ ගැන පසුතැවිලි වෙමි. සරසවිය යනු සැබැවින්ම සුන්දර මතකයන් ගොන්නක තෝ තැන්නකි. සිව් අවුරුද්දක කාලය නිම කර පිටතට පැමිනි පසු සරසවි දිවිය කෙතරම් මනහර කාලයක්දැයි සිතේ.

Friday, July 17, 2009

නවක වදය


බොහෝ දෙනා සිතා සිටින්නේ සරසවි යාම ඵලකට නැති ක්‍රියාවක් කියාය. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ "කැම්පස් රැග්" එක නිසා සරසවියට යා නොහැකි බවය. තවත් සමහරු පවසන්නේ සරසවියට පුදන වසර තුනක හෝ හතරක කාලය රැකියාවක් සදහා යෙදවීම වඩාත් ඵළ දායී බවය. තවත් සමහරු පවසන්නේ පිටරට ඩිග්‍රිය වැදගත් බවය. කවුරු කෙසේ මොනව කිව්වත් ඔවුන් සරසවි බ්මට අතුලත් වීමට වරම් ලදහොත් අනිවාර්යයෙන්ම සරසවි අධ්යාපනය ලබන බවද නොරහසකි. තමා සරසවි යාමට තරම් සුදුසුකම් ලබනවද යන්න ඔවුන්ටම ගැටලුවකි.

කෙසේ වෙතත් මා පවසන්නට යන්නේ මා අතුලත් වු සරසවියේ නවක වදය ගැනය. සැබැවින්ම නවක වදයක් නොතිබුනි. එය සත්‍යයි. දරුණු රැග් නොතිබුනද ඉතාමත් දරුනු වාග් මාලාවන් නම් ඇසීමට ප්‍රථම වසර අපි සැමටම සිදු විය. කෝළම ලෙසෙ හැදින්වූ එක පෙදෙසක් විය. ගස් වලින් ගහන වු එම පෙදෙසේ භාරකත්වය තිබුනේ ජනතා විමුක්ති පෙරමුනට කත් අදින ජෙප්පන් හටය. සරසවිය ගැන දැනුමක් ඇති පිරිස් ඔවුන් මග හැර ගියද එවන් අත්දැකීම් නැති අපට සිදු වුවේ ජේශ්ඨ උත්තම උත්තමාවියන්ගේ නවක ආතල් වලට හසුවීමටය.

සරසවියට පා තබා ගතවු දෙවනි දවසේම එවන් වාග් ප්‍රහාරයකට හසු වීමට මටත් මගෙ මිතුරියටත් සිදු විය. කෝලම අසලින් ගමන් කරද්දි "නන්ගි නන්ගි ෆස්ට් ඉයර්ද?" යනුවෙන් හඩ තැලූ අක්කා කෙනෙකුගේ වදන් වලින් බිරන් තට්ටු වූ ප්‍රථම වසර සිටි මා අතුලු තවත් ගැහැනු ලමො සතර දෙනෙකු ගිටාර් ගසන දෙපා වලින් යුතුව ඇය අසලට පිය මැන්නෙමු. ඇය සිටියේ පිරිමියෙකු මෙන් දෙපාද උඩට ගෙන ගල් බ0කුවක සිදගෙනය. ඇය අසල සිටි චීවරධාරියා දුටුවිට මාගේ පාද ගල් ගැසුනි. සිවුරට කිසිදු ගෞරවයක් නොදී අසීලාචාර ලෙස සිද සිටින ගැහැනු ලමයෙකු අසල බොදු පුතනුවෙකු සිටිය යුතුද යන්න මට සිතුනි.

කෙසේ වෙතත් ඔහු සිටින බව ඇයටද ඇය සිටින බව ඔහුටද කිසිදු ගැටලුවකට තුඩු දුන් කාරනයක් නොවූ බව එතැනට පිය මැන්න අප සැමටම පසක් විය. චීවරධාරී ඔහු කෙරෙහි මා සිත තුල ඇති වු පිලිකුල දෙගුන තෙගුන වූවේ ඔහුගේ සහ ඇයගේ අමු තිත්ත කුනුහරුප වාග් මාලාවට හසු වු විටය. තොරන් ගසා පලමු දිනයේදි අප පිලිගත් ජේශ්ටයන් දෙවන දිනයේ අප පිලිගන්නෙ අමු කුනු හරුප වැලකිනි. එතනදි ඇසුනු සමහරක් වචන වල තේරුම තවමත් මට සොයා ගත නොහැකි විය.එම වචන මාලවට පසු අපහට කාඩ් දැමීම ආරම්භ කිරීම පටන් ගත් අතර එතැනදී ඔවුන් මග හැර ලිස්සා යාමට අප සමත් විය

ගම සහ නගරය


ගැමි පවුල් පසු කරම්න් තවදුරටත් ඉදිරියට ඇදෙද්දි ඉමහත් නාගරීකරණයට ලක් වු පවුල්ද සිටි බව මගේ මතකයේ ඇත. අඩි දෙක තුන උස් වු පාවහන් පැලදි මව්වරුන් සහ අහ0කාර ගතියෙන් සිටි පියවරුන්ද පසුකර යනවිට ඔවුන් තුලින් නික්මුන නැහැය පසාරු කරන විලවුන් සුවද අසල සිටි පියවරුන් දෙතුන් දෙනෙකුම කිවිසුම් යෙවිමට තරම් ප්‍රබල වු බව මට තවමත් සිහි වේ. මෙම මව්පියවරුන් දැකිය හැකි වූවේ ඉන්ග්‍රිසි මාද්යයෙන් උපාධ්ය හැදෑරීමට පැමිනි සිසුන් සිටි පෝලිමෙහිය. මමද හිමින් එම පෝලිම කරා ඇදුනෙමි. එතැන සිටි මවුපියවරුන් දුටු මට ඉබේම මගේ දෙමවුපියන් දෙස බැලුනි.

ඔවුන් ගැන මාගේ සිත තුල ඇතිවුවේ බලවත් ස්නේහයකි. අධික ග්‍රාමිය කරනයටත්,අධික නාගරීකරනයටත් ලක් නොවු මගෙ මවුපියන් මධ්යස්තව හැද පැලද සිටියහ. නුවර මිනිසුන්ට උපතින් හිමි වු නිහතමානි ආඩම්බරකම ඔවුන් තුලින් දිස් වුවද ඔවුන් සෑම කෙනෙකු සමගම කුලුපගුව කතාබහේ යෙදි සිටි බව මම දුටුවෙමි. සරසවියේ මෙවැනි දසුන් මගේ පියාටනම් සුපුරුදු දසුන් වුවා විය හැක. එයට හේතුව ඔහුද පේරාදෙනිය සරසවියේ උපාධිධරයෙක් වූ බැවිනි. එහෙත් මට මෙන්ම සරසවි භුමියට නවකයෙක් වු මගෙ මවත් උවමනාවෙන් එහෙ මෙහෙ නෙත් යැවූ බව මම දුටුවෙමි.

ජේෂ්ඨ සිසු සිසුවියන් විසින් සන්විධානය කර තිබූ බෙලිමල් දන්සැල එදින කඩි ගුලක සිරි ගෙන තිබුනි. දුර බැහර ගෙවා පැමිනි මව්පියවරුන් තම දරුවන්ද සමග එතැනට රොක්ව සිටියේ කොළඹ අව් කාෂ්ටකයෙන් ඇති වු පිපාසය සන්සිදුවා ගැනීමේ අරමුනෙනි. අසළ ඇති ගල් සහ ගල් බ0කු වල හිදගෙන තවත් සමහර මා පියන් බෙලි මල් රස විදිනු දැකිය හැකි විය. යුහුසුලුව බෙලිමල් සන්ග්‍රාහයේ යෙදෙන සිසු සිසුවියන් සත්තකින්ම කෙතරම් කඩිසරදැයි මට සිතුනි.

තමා යන එන දිශාව පිලිබදව අවබෝධයක් නැතිව අතරම්න් වු මව්පියවරුන් සහ දරුවන්ට නිසි මාර්ගය පෙන්වීමට වෙර දරන තවත් සිසු සිසුවියන් කිහිප දෙනෙකුද මම දුටුවෙමි. ඔවුන් කෙතරම් උපකාරී පිරිසක්දැයි මට සිතුනි. අළුත් නැව (නවක සිසුන්ට යෙදෙන සරසවි වචනයකි )බැලීමට පැමිනි තවත් ජේෂ්ඨ සිසුන් පිරිසක් අසල ගැවසෙනු දක්නට හැකි විය. ඔවුන්ගේ දෑස් වැඩිපුරම යොමුවී තිබුනේ අහින්සක පෙනුමැති ගැහැනු ළමුන් කෙරෙහිය.

ඔය කුමක් මා අසලම සිදු උවත් මගේ දෑස් ඇද ගත් එක් කරුනක් මා කිව යුතුමය. තුන්මුල්ල ම0සන්දියේ සිට අව පැහැ ගැන්වු දිය සීරාවක් මෙන් කොළඹ ව්ශ්ව විද්යාලය තුලට අතුල් වු පිරිසක් සිටියහ. ඒ අන් කිසිවෙකුත් නොව අපේ බොදු පුතනුවන්ය. එතරම් හාමුදුරුවරුන් පිරිසක් මගෙ නෙත ගැටුන පලමු අවස්ථාව එය විය.නේක විද කහ වර්නයන්ගෙන් සමන්විත සිවුරු හැදි හිමිවරුන් ඉක්මන් ගමනින් පැමිනෙනු මම බලා සිටියෙම්. කිසිදු සීලවන්ත හික්මුන ශාන්ත ගමනක් ඔවුන් තුලින් දිස් නොවීය. මා පුදුමයෙන් බලා සිටියදීම ඔවුන් පෝලිමට නොගොස් වෙනම පෝලිමක් සැදුනි. උදෑසන අව් රශ්මියෙන් ඔවුන්ගේ කෙස් සුන් හිස් දිලිසෙන්නට විය

බොදු පුතනුවණ් එක පසක් තම සිවුරේ පැහැයෙන් ආලෝකමත් කරද්දී දමිළ මාද්ය කරන සිසුන් තවත් පසක් ඔවුන්ගේ වස්ත්‍රයෙන් අදුරු කර සිටියහ. එනම් ඉස්ලාම් සිසුන්ය. කලු පැහැති ෆර්දාවකින් සැරසී සිටි ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මුහුන පවා ආවරණය කර සිටියේ ඇස් දෙක පමණක් නිරාවරණය කරමිනි. සරසවිය යනු ජාති භේද සහ ආගම් භේද නොතක සියලු දෙනා හට උසස් අද්යාපනය ලබා දෙන සිප් හලක් බව මට සිහි විය. තවත් පසක සුදු සැරයටියෙන් තම මාර්ගය සොයා යන්නා වූ දෙනෙත් අන්ධ සිසු සිසුවියන් පිරිසකි. බ්‍රෙල් ක්‍රමයෙන් ඉගෙනුම ලබන මොවුන්ටද සරසවිය නැනස පාදයි.

සරස‍වි දි‍වි‍‍ය


2004 වර්ශයේ පෙබරවරි මාසයේ ප්‍රතම වතාවට සරසවි භුමියට පා තෑබු මට තවමත් එම දවස මතකයෙ අත්තෙ එය අද ඊයෙ උවාක් මෙනි.කොළඹ විශ්ව විද්යාලයෙ කලා පීඨය එදින පිරී පැවතුනෙ නවක සිසු සිසුව්යන් සහ ඔවුන්ගෙ දෙමව්පියන්ගෙනි.නවක සිසුන් සාදරයෙන් පිලිගනිමු යන ගොක් කොල තොරණ යට්න් මා ද පියමැන්නේ මහත් වූ චකිතයෙන් යුතුවයි. සරසවියකට වැස්සකදී හො ඇතුල් වීම භාග්යයක් ලෙස බොහෝ දෙනා සලකති. එයට හේතුව එම වරම ලබා ගැනීමට හැකියාවක් ඇත්තේ අතලොස්සකට බැවිනි.

සරසවි භුමියට පා තබද්දී මා හද තුල ඇති වූවේ නිහතමානී ආඩම්බරයකි. නවකයන් තම දෙමව්පියන් සමග ලියපදින්චි කිරීමේ කාර්යාලය අසල රොක් වී වුන්හ. එය මට ජීව්තය යනු කුමක්දැයි සත්තකින්ම වටහා දුන් අවස්ථාවකි.

කාමරයේ බිත්ති හතරට කොටු වී දිවි ගෙවු මා හට ජීවිතය යනු රෝස මල් යහනාවක්ම විය. කාමරයෙන් බාලිකා වෑන් රථයටත්, වෑන් රථයෙන් පාසලටත් නැවත පාසලෙන් වෑන් රථයටත්,වෑන් රථයෙන් කාමරයටත් පිවිසි මට සරසවි භුමියට ඇතුල් වන තෙක්ම ජීවිතයේ බරක් පතලක් නොතේරුනි.

එහෙත් සරසවි භූමියේ දෙනෙත් සිසරා යැවූ මට දැකිය හැකි වූවේ පරම ගැමිත්වයයි. කොන්ඩය කරල් දෙකට බැන්ද ච්ත්ත ගවුමකින් ගත සරසා ගත් ගැමි දියනිවරුන් සහ තෙල් දමා කොන්ඩය දෙපසට පීරා, රබර් සෙරෙප්පු පයෙහි දමා සිටි ගැමි පුතණුවන්ගෙන් සර්සවි භූමිය පිරී තිබුනි.

සරම ඇද, කමිසය ඇද අමුඩ ලේන්සුව කර දමා ගත් පියවරුන්ද එතැන සිටි බව මම දුටුවෙමි. ජීවිතය තුල විදීමට සිදු වූ නොයෙකුත් ආර්ථික දුශ්කරතා පරයමින් තම දරුවන්ට් සරසවි බිමට පා තැබීම භාග්යයක් ලෙස සැලකු මව්වරුන් ආඩම්බරයෙන් තම දරුවන් සමග එහෙ මෙහෙ ගියද ඔවුන් තුලින් දිස් වූ ගැමිත්වය කෙතරම් සුන්දරදැයි මට සිතුනි. තම සහෝදර සහෝදරියන්ගේ ඇදුම් මළු කරේ දමා ගෙන ඔවුන් පිටුපස ඇදෙන බාල සහොදරියන් දුටුවිට මට ඇති වූවේ මහත් ලෙන්ගතුකමකි. ඒ වනවිටත් පාසල් යන අවදියෙ පසු වු මගේ බාල සහෝදරිය මට සිහි විය. ඇය උසස් පෙල විභාගයට සුදනම් වන බෙවින් මා සමග පැමිනීමට නොහැකි වීම ගැන මට කනස්සල්ලක් ඇති විය.